Full moon poya day

බිනර පෝය

අද බිනර පුර පසළොස්වක පොහෝ දිනයි. සරත් සෘතුවේ ආරම්භය ද බිනර පුර පසළොස්වක පොහොයයි. ස්වභාව සෞන්දර්ය රසයෙන් අවට පරිසරය පවා ආලෝකවත් වන සමයකි. ඉතිහාසයේ අදවැනි දිනක බුදුරජාණන්වහන්සේගේ ගිහිකළ මෑණියන් වූ මහා ප්‍රජාපතී ගෝතමියගේ ඉල්ලීම ගරුකොට සලකමින් මෙහෙණි සසුන ආරම්භ කෙරුණු බව හා බුදු සසුනේ පැවිදිවූ ආර්ය කුමාරවරු 500කගේ බිරින්දෑවරු සමඟ හිසමුඩු කර කසාවතින් සැරසී බුදුරජානන්වහන්සේ වස් කාලයේදී වැඩසිටි කූඨාගාර ශාලාවට පැමිනි බව ශාසන ඉතිහාසයේ සඳහන්වේ. බෞද්ධ ශාසනය තුළ ස්‌ත්‍රී පුරුෂ භේදයක්‌ නොමැති වුවත් කාලීන අවශ්‍යතාවක්‌ මත බුදුවරුන් ගිය මග යමින් ගරු ධර්ම අටක්‌ විශේෂ කොට පැනවීමට බුදුරදුන්ට සිදුවිය. බිනර පුර පසළොස්‌වක පොහොය ශාසනික වශයෙන් ඉතා වැදගත් පොහොයක්‌ වේ. භික්‍ෂුන් වහන්සේලා තුන් මාසයක්‌ වස්‌ වසා, වස්‌ පවාරණ කර පසුව එළැඹෙන මාසය “චීවර මාසය” එනම් කඨින මාසය ලෙස හඳුන්වා පූජා උපහාර පවත්වන මාසයකි. කඨින මාසයේ අග්‍ර ඵලය ලෙස කඨින චීවර පූජා කිරීම අට මහ කුසලයකට සම්බන්ධ පුණ්‍ය කර්මයක් බව ගිහියන් විශ්වාස කරයි.