Christmas decorations on a white background

නත්තලේ විස්තරේ

නත්තල ලොව ඒකාලෝක කරන විශ්වීය මංගල්‍යයකි. නත්තල යන පෘතුගීසි වදනේ අරුත ‘‘උපත’’ යන්නයි. (Natal)  ලෝක මැවුම්කරු වූ පිය දෙවිදුන්ගේ ඒකජාත පුතණුවා දෙවි බව මදකට ඉවතලා, මිනිස් කන්‍යාවකගෙන් මාංශගතවීමට අපි නත්තල කියමු. ජේසු උපත උදුවප් මහේ 25 දින සිදු කළත්. ජේසු උපත කවර දිනක සිදුවී දැයි අපි නොදනිමු. දිනය තබා, වසර හෝ නිවැරදි ලෙස සොයාගෙන නැත. ජේසු කුරුසපත් වූ මහ සිකුරාදා දිනය නිවැරදිව සොයාගෙන තිබීම හේතුවෙන්, ජේසු උපතේ වර්ෂය අනුමාන ලෙස ගණන් බලා තිබේ. ජේසු මැරුණු මහ සිකුරාදා දින මහ දවාලේ සිදුවුණු සූර්යග‍්‍රහණය හේතුවෙන් පළමු මහ සිකුරාදා ක‍්‍රි.ව. 30 අපේ‍්‍රල් මස 07 දිනක විය යුතුයැයි ගණනය කර ඇත. ජේසුගේ මෙලොව ආයු කාලය වසර 33ක් නම්, උන්වහන්සේ කි.පු. 03 හෝ 04 මාංශගත වූ බව සිතිය හැක.

ජේසු උපත වූ නත්තල උළෙලක් ලෙස ළදරු සභාවේ කිතුනු සංඝය පැවැත්වූ බවට සාධක නැත. ඊට හේතු දෙකක් විය. උපත් සැමරීම උත්සවාකාරයෙන් පැවැත්වීම රෝම නීතිය අනුව තහනම් විය. උත්සවශ්‍රීයෙන් පැවත්වු එකම සාදය සේසරුගේ උ’දිනය පමණි. දෙවෙනි හේතුව වුයේ මුල් කිතුනු සංඝය ජේසුගේ මහිමාන්විත දෙවැනි ගමන කොයි මොහොතක හෝ සිදුවේයැයි අපේක්‍ෂාවෙන් ජීවත්වූහ. වඩින්නට සිටින තැනකන්වහන්සේගේ උපත සැමරීමක් ඔවුන්ට ඒ හේතුවෙන් අනවශ්‍යවිය. එසේනම් නත්තල උළෙලක්සේ උත්සවාකාරයෙන් එළඹියේ කවදාද? ක‍්‍රි.ව. 330 දශකයේ එය ආරම්භ වුවායැයි සටහන්වී ඇත. එයට පසුබිම මෙසේය. මේ කාල වකවානුවේදී හිරුට නමස්කාර කිරීමේ උළෙලක් විය. එය සැතනේලියා (Saturnalia) නම්විය. නව දහම් ඇදහූ රෝමානුවෝද මේ අදේවවාදී උළෙල සැමරුවෝය. මෙය නොරිස්සු පාප්තුමා, කිතුනු සංඝය අදේවවාද හිරු උළෙල වෙනුවට ධර්මිෂ්ඨකමේ හිරු  (Sun of Justice)  වූ ජේසුගේ උපත සිහිපත් කිරීමේ නව උළෙලක් (Solstice) හිරු උළෙල වෙනුවට ආදේශ කළ සේක. එහෙත් ජේසු උපත සිදු වූ යුගය ඉතිහාසඥයින් විසින් පහත සඳහන් අන්දමට ගණනය කර ඇත.