උඳුවප් පොහොය දිනය

2016 වසරේ අවසන් පොහොය දිනය වන අද ලාංකීය බෞද්ධ ජනතාවට ඉතා වැදගත් පොහෝ දිනයක් වේ. ශාසනික වශයෙන් උඳුවප් පොහොය දින සිංහල බෞද්ධයන් හට වැදගත් වේ. එනම් ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වරට භික්ෂුණී ශාසනය පිහිටවීමද, සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ ඇතුලු තවත් මෙහෙණින් වහන්සේලා 11 නමක් ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවත් සමඟ දඹදිව සිට මෙරටට වැඩමවීම මෙම පොහොය දිනයත් සමඟ කෙරුන ඓතිහාසික හා ශාසනික සිදුවීම්ය. මෙම සිදුවීම ශ්‍රී ලංකාව තුල නැවත බුදු සසුන පිහිටුවීමට මුල් වූ මිහිඳු මහරහතන් වහන්සේගේ අවසරය ඇතුලුව දේවානම් පියතිස්ස රජතුමාගේ ආරාධනයෙන් සිදුවිය. සම්බුද්ධ ශාසනික වශයෙන් මෙන්ම මෙරට කෘෂිකාර්මික වශයෙන්ද මෙම උඳුවප් මාසය මෙරට ජනතාවට වැදගත් වේ. ඒ කෙසේද යත් මෝසම් වැසි වලින් කෙත්වතු සාරවත් වී අලුත් හේන් වල බව භෝග සිටුවන්නේද, මාස් කන්නය සඳහා කුඹුරු අස්වද්දන්නේද මේ මාසයේය. විශේෂයෙන්ම උඳු වපුරන මෙම මාසය උඳුවප් මාසය ලෙස හැදින්වීමෙන්ම එම වැදගත් කම මනාව පිළිඹිබු වේ.